හිමිදිරි පෙදෙස (Morning Side)


පුංචි හෝටන්තැන්න බදු වූ ඉතා සෞම්‍ය පරිසර පද්ධතියක් ලෙස හිමිදිරි පෙදෙස නම් කල හැකිය. දවසේ සෑම කාලයකම මීදුමෙන් බර වූ හිමිදිරි උදෑසනක ඇති සෞම්‍ය කාලගුණයට සමාන දේශගුණික තත්ත්වයක් ඇති බැවින් මෙම පෙදෙස හිමිදිරි පෙදෙස (Morning Side) ලෙස නම් කරන්නට
යෙදුනි. ඉතාමත් දුෂ්කර වූ මාර්ගයක් ඔස්සේ ප්‍රවේශ වීමට සිදුවන මෙම හිමිදිරි පෙදෙස ගත සිත නිවා සනසන කදිම පෙදෙසක් ලෙසට නම් කල හැකි වේ.
සිංහරාජ වනාන්තරයට අයත් රත්නපුර, ගාල්ල සහ මාතර යන දිස්‌ත්‍රික්‌කවලට මායිම්ව හෙක්‌ටයාර 11187ක්‌ වැනි භූමි ප්‍රමාණයක පැතිර ඇති මේ අති සුන්දර වන බිම අතීතයේ දී ඉංග්‍රීසි ජාතිකයන් විසින් තේ වගාවට යොදා ගත් අතර, පසුව එනසාල් වගා කර අද වන විට එය ද අතහැර දැමීම නිසා ද්විතීයික වනාන්තර ස්‌වභාවයක්‌ දක්‌නට ලැබේ.
රත්නපුරයේ සිට පැමිනෙන්නේ නම් රත්නපුර  සිට පැල්මඩුල්ලට (19k.m) පැමිණ මාදම්පේ හංදියෙන් හැරී (32k.m) රක්වාන (48k.m) හරහා සූරියකන්ද (65k.m) පසුකල පසු  Morning Side දක්වා හැරෙන ස්ථානයේ නාමපුවරුව (67k.m) දැක ගත හැකියි. මෙම රක්වාන – සූරියකන්ද  A17 මාර්ගය “වංගු දහයේ පාර” ලෙසද හදුන්වනු ලබයි.
 ඇඹිලිපිටියේ සිට පැමිනෙන්නේ නම්, කෑල්ල, කොලොන්න හරහා (39k.m) සූරියක්නදට පැමිණිය හැකියි. මේ සදහා ප්‍රවේශ වීමට ඇති අවසාන 7 km පමණ වන ප්‍රමාණය ඉතා දුෂ්කර මාර්ගයක් වන අතර, 4WD වාහනයකට හැර වෙනත් වාහනයකට ගමන් කිරීම අපහසු තත්ත්වයක පවතී. මෙම ප්‍රවේශ මාර්ගයේ ගමන් කිරීමේදී ගුවන් ඡායාරූපයක් සේ මුළු දතුණු පළාතම දර්ශනය වේ.



කලබලකාරී හා යාන්ත්‍රික පරිසරයෙන් මිදී, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සිතට හා ගතට දැනෙන විවේකයක් ගැනීම සදහා මීට වඩා කදිම ස්ථානයක් වෙනත් නැති තරම් වේ. දවස පුරා ඉතා සෞම්‍ය පරිසරයක, සෙල්සියස් අංශක 5 ක තරම් වූ සීතල ජලය පිරි ස්වාභාවික නාන තටාකයක දිය නා ඉතා නිස්කලංක පරිසරයක නිවාඩුවක් ගත කිරීම සදහා හිමිදිරි පෙදෙස කදිම තෝතැන්නකි.
 මෙම පරිසරයේ ඇඹුල් පේර ගස් දැකිය හැකි අතර, බඩ කට පුරා ඇඹුල් පේර කෑමට හැකි වේ. එසේම නැවුම් ජලය සහිත ස්වාභාවික ජල පාරවල් වලින් ගහන ප්‍රදේශයක් වන මෙහි දිය නෑම සදහා ඉතා අලංකාර දිය ඇල්ලක් සහිත නාන තටාකයක් බදු ස්ථානයක් පිහිටා ඇත. එසේම, බාදුරා මල් දැකගැනීමේ හැකියාවද මෙම පරිසරයේ පවතී. රතු පැහැති බාදුරා සහ කොල පැහැති බාදුරා යන වර්ග දෙකම මෙම පරිසරයේ දැක ගැනීමට ඇත.
මේ භූමි පෙදෙසේ ඇති විශේෂත්වය වන්නේ සිංහරාජයේ අනෙකුත් වන පෙදෙස්‌වලින් වාර්තා නො වන මේ පෙදෙසින් පමණක්‌ වාර්තා වන ශ්‍රී ලංකාවට ආවේණික කටුසු විශේෂ අටක්‌ වාර්තා වීමය. කරු ගේ අංකටුස්‌සා, පලා කටුස්‌සා, ගරා කටුස්‌සා, කරවල බෝදිලියා, පිහිනුම් කටුස්‌සා යන විශේෂ ඒ අතර වෙයි.
සිංහරාජයේ වෙසෙන අලින් තිදෙනා නිතර ම සැරිසරන්නේ ද හිමිදිරි පෙදෙසහි වීම ද විශේෂත්වයකි. ශ්‍රී ලංකාවට ආවේණික උභය ජීවීන් රැසක්‌ මේ පෙදෙසින් හමු වෙයි.
ශාක විශේෂ අතර ඉරුරාජ, සඳරාජ, කුඩා හැඩයා, මහා හැඩයා, නිල් බිනර වැනි වටිනා ඖෂධීය ශාක රැසක්‌ ද මේ හිමිදිරි පෙදෙසහි වෙයි.
මෙහි ප්‍රවේශ මාර්ගය දිගේ ටික දුරක් ගමන් කල පසු පෞද්ගලික නවාතැන් ස්ථානයක් හමු වේ. හිමිදිරි පෙදෙස තුළ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු බංගලාවක් ඇත. මෙම බංගලාව බත්තරමුල්ලේ සම්පත්පායෙන් කල් වේලා ඇතිව වෙන්කරගත යුතු වේ.
මේ අවට ඇති ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව සතු ඉඩම් තේ වගාව සදහා යෙදවීම නිසා මෙම පරිසර පද්ධතිය ඉතා ඉක්මනින් විනාශ වීමේ තර්ජනයකට මුහුන දී ඇත. කෙසේ වුවද ජාතික සම්පතක් වන මෙම පරිසර පද්ධතිය රැක ගැනීම සදහා ක්‍රියා කිරීම පරිසර හිතැති අප සැමගේ යුතුකමක් සේම වගකීමක්ද වේ

Penulis : nishawi ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel හිමිදිරි පෙදෙස (Morning Side) ini dipublish oleh nishawi pada hari Friday, June 15, 2012. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 0 komentar: di postingan හිමිදිරි පෙදෙස (Morning Side)
 

0 ප්‍රතිචාර:

Post a Comment

ඔයලාගේ ඕනම අදහසක් පහළින් දාලා යන්න...