ඉබි මසට ලොල් වූ මුතු බණ්ඩා


මීට අවුරුදු කීපයකට ඉස්සරදී අද මම මේ වසන ගං තුලානට හිටි හොඳම වඩු බාසුන්නැහේ තමයි මුතුබණ්ඩා මාමා. ගමේ උඩහ කෙළවරේ ඇල ඉස්මත්තේ කුඹුක් ගස් හෙවණක අටෝගත්ත වඩු මඩුවට වෙලා ලී බඩු හදමින්, කැටයම් කපමින් මුතුබණ්ඩා මාමා දවස ගත කළා. ඕනෙම හයිය ලීයක් කැටයම් කරලා ලස්සනට වාත්තු කරලා ගන්න මුතුබණ්ඩා මාමට තිබුණේ මහ පුදුම හැකියාවක්. උන්දැගේ අත ගැටෙන මොන ලීය වුණත් ඕනෙ තාලෙට නවලා හැඩ ගන්වන ක්‍රමය මුතුබණ්ඩා මාමා හොඳට දැනගෙන උන්නා. ඒ හැකියාව නිසාම මිනිහගේ අතේ මිටේ නිතර සල්ලි බාගේ ගැවසුණා . 

මුලින් තිබුණු පොල් අතු හෙවිලි කළ වඩු මඩුව කාලයක් ගත වෙද්දී ඇස්බැස්ටෝස් හෙවිලි කළ වඩු මඩුවක් බවට පත් කරගන්න මුතුබණ්ඩා මාමට හැකි වුණේ අහල ගං හතක මිනිස්සු පවා ලී බඩු හදාගන්න මුතුබණ්ඩා මාමව හොයාන ආපු හන්දා වෙන්නැති. කාගෙ කාගෙත් හිතේ කොහු තියන්නේ නැතුව එන මිනිස්සු ඉල්ලන විදිහටම ලී බඩු හදා දෙන්න මූතුබණ්ඩා මාම හැමදාමත් සමතා . 


වැස්සකටවත් ඉස්කෝලෙයකට ගොඩ වැදිලා නොතිබ්බා වුණත් මුතුබණ්ඩා මාමාට ජීවිතේ වැරදුණේ නෑ . උන්දැට කවුරුවත් වඩු වැඩ කරන්න කියලා මග පෙන්නලත් නෑ . තමන්ට හිතූ දේ කරන ජාතියේ එකෙක් වෙච්ච මුතුබණ්ඩා මාමා දවසක් ගෙදර මිදුලේ පොල් අතු මඩුවක පටන් ගත්තු වඩු මඩුව ටිකෙන් ටික විශාල කරගෙන ගමේ සල්ලි කාරයෙක් වුණේ අනික් මිනිසුන්ගේ ඇස් වහ කටවහ මැදිනුයි . 

“හාමුදුරුවනේ මේ වතාවේ පන්සලේ ලයිට් බිල් එක ගෙවාගන්න මා ගානේ ආ රුපියල් දාහක්ම .”

අතේ මිටේ සල්ලි තිබුණත් කවදාකවත් ලෝභ කුණෙක් විදිහට ජීවත් වෙන්න නොහිතපු මුතුබණ්ඩා මාමා පිං අතේ වැඩ වලට නොමසුරුව සල්ලි විසි කළේ නිකම් අනාථ පිණ්ඩික සිටු තුමා වගේමයි .ගමේ දුප්පත් මිනිස්සු කොයි කවුරුත් අතමාරුවක් කරගන්න ඕනෑ වුණාම මුතුබණ්ඩා මාමා ගාවට දුවගෙන ගියා . සල්ලි දෙන්න ඕනෙ කාටද නොදී අරින්න ඕනෙ කාටද කියලා මුතුබණ්ඩා මාමා හොඳට දැනගෙන හිටි හන්දා ගමේ උන්නු කම්මැලියොන්ටයි හොරුන්ටයි කවදාවත් මුතුබණ්ඩා මාමව තම්බන්න නම් බැරි වුණා . 

හැම හොඳක් එක්කම බැඳිච්ච පුංචි නරකක් මේ ලෝකේ කොතැනත් තියනවා . අපේ මුතුබණ්ඩා මාමා ළඟත් දාහක් හොඳ තිබුණට ඒ හැම හොඳක්ම මැකිලා යන ජාතියේ පුංචිම පුංචි නරකක් තිබුණා ඇත්තටම කීවොත් ඒක කැත පුරුද්දක් හෙවත් ඇබ්බැහියක් .

අතේ මිටේ කොයිතරම් සල්ලිය තිබුණත්,ලී කැටයම් කොටන්න ඉහළ කලාත්මක හැකියාවක් තිබුණත් මුතුබණ්ඩා මාමාගේ ඒ කැත පුරුද්ද ඒ හැම දේටම වඩා උඩට මතුවෙලා තිබුණා. ඒ නොහොඹිනා කැත පුරුද්ද තමයි තුන් වේලටම ඉබිමස් කන්න මුතුබණ්ඩා මාමා ඇබ්බැහි වෙලා උන්නු එක .

ඇල ඉවුරෙන්, කැලෙන් ගල් ඉබ්බෝ ඇන්න ඇවිදින් උන්ව මස් කරලා උයාගෙන තලු මරමින් කන ගමන් ඉතිරි වෙන ඉබි කටු වලින් අරුමෝසම් බඩු හදන්නත් මුතුබණ්ඩා මාමා අමතක කළේ නෑ . සල්ලි එකතු කරන කැට, සෙල්ලම් කරත්ත, තෙල් දාල පත්තු කරන පහන් මුතුබණ්ඩා මාමා ඉබි කට්ටෙන් හදන නිර්මාණ වලින් කීපයක් විතරයි.

කට්ටක් ඇතුළේ අට්ටං වෙලා පණ ගැටගහගන්න අහිංසක සතෙක් වෙච්ච ඉබ්බා අවුරුදු සිය ගාණක් ජීවත් වෙන්න වාසනාව තියන සතෙක් . ඒත් මුතුබණ්ඩා මාමගෙ ඇහැ ගැටෙන ඉබ්බට ජීවත් වෙන්න වාසනාව තිබුණේ තත්පර කීපයක් විතරමයි . 

ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ එක වංඟියක් මුතුබණ්ඩා මාමට කරුණාවෙන් කතා කරලා ඉබිමස් නොකන්න කියලා අවවාද කළා..! බණ දේශනා කළා . ඒත් ඒ වෙලාවේ විතරක් ඔළුව හොලෝලා හාමුදුවන්ගේ කකුල් දෙක ගාව වැඳ වැටුණ මුතුබණ්ඩා මාමා පන්සල් වත්තෙන් එළියට බැහැපු හැටියේම හමුවෙන ඇල ඉවුරේ හබරල ගස් අස්සේ මඩ කමින් උන්නු ගල් ඉබි තඩියෙක්ව සරමේ දවටගෙන ගෙදර ඇන්න ගියා .

“හාමුදුරුවන්ට නම් ඉතින් කන්න කැමති හැම ජාතියක්ම අපි ගෙනද්දෙනවා අපිට කවුරු කන්ට ගෙනද්දෙන්නේ ? අපේ කෑම ඉතින් අපිම හරිගස්සා ගන්ට එපැයි “

එදා පන්සල් වත්තෙන් එළියට බැහැපු මුතුබණ්ඩා මාමා ඉබි තඩියාවත් ඇන්න ගෙදර ගියේ හාමුදුවන්ට මග දිගටම බණිමින් සහ ඉබ්බාව සුරතල් කරන අතරෙයි. ආවාසගේ ඇතුළට වෙලා ලොකු හාමුදුරුවොත් බොහෝම දුකින් මුතුබණ්ඩා මාමා ගැන අපිත් එක්ක කියමින් දුක් වුණේ පන්සලේ ප්‍රධානම දායකයා ඉබිමස් කන කෙනෙක් වෙච්ච නිසා හිතේ උපන් අවංක දුක හින්දයි . 

තමන්ගේ මහන්සියෙන් ඇලවල්, දිය කඳුරු, ගස්, ගල්, අස්සේ බඩ ගාලා ඉබ්බෝ හොයාගන්න මුතුබණ්ඩා මාමා බොහෝම දක්‍ෂයා ! . ඒ විතරක් නෙවෙයි තමන්ට වැඩ වැඩි දවසට ගමේ පොඩි කොල්ලොන්ට සල්ලි දීලා ඉබ්බෙක් දෙන්නෙක් අල්ලා ගන්නත් මුතුබණ්ඩා මාමා අමතක කළේ නෑ .රුපියල් හැටක් හැත්තෑවක් දුන්නාම ගමේ කොල්ලෝ ඕනෙ එකෙක් පවු පින් බලන්නේ නැතුං මුතුබණ්ඩා මාමට ඉබ්බෝ හොයමින් කැලෑ වදින්නේ දෙමවුපියන්ගේ ගුරුවරුන්ගේ ඇනුම් බැණුම් කනකටවත් නොගෙනයි . 

“සල්ලිද වටින්නේ ඉබ්බද ?”

ගමේ කොල්ලෝ ඔහොම කියමින් මඩවගුරු වැසිකිළි වළවල් ගානේ ඇවිදිමින් මුතුබණ්ඩා මාමට ඉබ්බෝ හෙවුව කාලයක් තිබුණා . මට අද වගේ මතකයි ඉබ්බෙක් පස්සේ දුවං ඟියපු කොල්ලෙක් පාළු ළිඳකට වැටිලා ඉන්දෙද්දී ගමේ උදවිය ඌව බේරාගත්ත හැටි . 

එක වතාවක් පළාතේ ගොවිජන සේවා එකේ ලොකු මහත්තයා මුතුබණ්ඩා මාමා හමුවෙන්න ඇවිදින් ඉබ්බා වගාවන්ට කොයිතරම් වටිනා කියන සතෙක්ද කියලා මුතුබණ්ඩා මාමට කියාදුන්නා. ඒත් මුතුබණ්ඩා මාමා ඒ මහත්තයාගේ වචන කනකට වත් නොගෙන ගොයිජන සේවා එකේ ගේට්ටු කණුවේ ඉබි කට්ටක් එල්ලලා ආවේ ගොයිජන සේවා එකේ ලොකු මහත්තයා නෙවේ සක්කරයා ඇවිදින් කීවත් තමන් වෙනස් නොවෙන බව කියාපාමිනුයි . 

“ ඔය සක්කරයා ඇවිදින් කීවත් මගේ හිත වෙනස් කරන්නේ නෑ මම . මගේ කෑම බීම ගැන තීන්දු ගන්නේ මම ! මගේ හිතත් ඉබි කට්ට වගේ තදයි බොලවු “
කවුරු හරි ඉබි මස් නොකන්න කියලා මුතුබණ්ඩා මාමට කීවොතින් උන්දෑ දක්වන ප්‍රතිචාරය ඕකයි .

“ඇහුවට කේන්ති ගන්ඩ එපා මාමා ගල් ඉබි මස් හැබෑටම රහයිද ”
කුතුහලේ වැඩි කමටම මම දවසක උන්දැගෙන් එහෙම අහපුහාම උන්දැ මට මහ පුදුම හිතෙන උත්තරයක් දුන්නා .

“කොල්ලෝ ගල් ඉබි මස් කියන්නේ අවුසදයක් අපෙ අත්තල මුත්තල හිටන් ගල් ඉබි මස් කෑවේ සාගින්දරේට නෙවෙයි ඇඟ පත හයිය කොරගන්ඩ !”

ගල් ඉබි මස් කෑවහම ඇඟපත යකඩ වගේ හයිය වෙනවාය කියලා කතාවක් ගමේ උදවිය අතරේ තවම තියනවා. ඒ කථාවේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් මුතුබණ්ඩා මාමා බුරුත නැදුං වගේ හයිය ලී කඳන් පැය ගණං එක දිගට ඉරන්නේ ගල් ඉබිමස් කාලා අරගත්තු හයිය හත්තිය හින්ද දෝ කියලා මට වෙලාවකට හිතුණා . 

ඉබ්බෙක් අල්ලන්න කුණු ඇළේ බැහැලා දඟලාපු දවසක කකුලේ මලකඩ කාපු බෙලෙක්කයක් ඇනගෙන පිටගැස්මට බේත් විදගන්න ඩිස්පෙන්සරියට ගියපු මුතුබණ්ඩා මාමට ඉන්ජෙක්‍ෂන් විදින්න දොස්තර මහත්තයා දහ දොළොස් පාරක්ම දැඟලුවා කියලා ගමේ කොයි කවුරුත් දන්නවා . ගල් ඉබි මස් කන හන්දා මුතුබණ්ඩා මාමාගේ බාහු හරිම හයියි ඉන්ජෙක්‍ෂන් කටු පවා ඒ බාහුව විදගෙන යන්න බැරුව කලු ගලේ ඇන්නා වාගේ නැවිලා යන විත්තියත් කාටත් රහසක් නෙවේ . 

“ඕක බොරු කතාවක් මුතු බණ්ඩේ තමුන් ලී ඉරන හන්දා තමා තමුන්ගේ අතපය හයිය වෙලා තියෙන්නේ එහෙම නැතුව ඔය ඉබ්බෝ කාලා නෙවෙයි අයිසේ !”
ගමේ දාස ලොකු ඉස්කෝලේ මහත්තයා දවසක් එහෙම කීවේ මුතුබණ්ඩා මාමාව අනුගමනය කරමින් ඇඟපත හයිය කරගන්න කියලා ඉස්කෝලේ ළමයිනුත් ඉබ්බෝ අල්ලන් කාවි කියලා හිතේ උපන්න බයට වෙන්නැති .

“අනේ යන්ඩ සෑර් යන්ඩ ගුරුවරු කවද්ද කටට රහට කෑමක් කෑවේ ? ඉස්කෝල ගුරාලා පඩිය ඉතිරි කරගන්ඩ ගූ පුච්චං කන්න වුණත් ලැහැත්තිනේ ! “
කට කැඩිච්චි වචනෙන් මුතුබණ්ඩා මාමා ලොකු සර්ට බැණ වැදුණා . පහුවදා ඉස්කෝලේ ගිය ලොකු සර් ළමයි හැමෝවම ඉස්කෝල වත්තේ තිබුණු මහ විශාල කහට ගහ යටට ගෙන්නලා ඉබ්බන්ට අනතුරක් කරන හැම ළමයෙකුටම දැඩි දඬුවම් දෙන විත්තිය කීවේ වේවැල දකුණු අතින් වනන ගමන් .
ගමේ කොනක වාඩියක හොරට පෙරෙන කසිප්පු වඩියක් සප්පායම් වුණ දාට තුම්මං හන්දියේ තේ කඩේ ගාවට එන මුතුබණ්ඩා මාමා ඉබි මසේ රහ ගුණ ගැන ගමේ උදවිය දැනුවත් කරන්නත් අමතක කළේ නෑ .

“ඉරිඟු තලප ගෙඩියක් එක්ක දුවාබාපු ගල් ඉබි මස් නම් පංකාදු පහයි ඕං !”

මුතුබණ්ඩා මාම මේ උතුරු වැවුගම් පත්තුවේ මුල් පදිංචි කාරයෙක්. ඒ වගේම හණමිටි අදහස් කරපින්නා ගත්ත මුග්ධයෙක් . ඉබි මස් ඇඟට පතට සවිය ගේනවා කියලා උන්දැ හැම මොහොතකම විශ්වාස කළා. ඒ විතරක් නෙවේ ඉබි මස් කෑමට ගමේ ඉන්න තරුණ කොලු ගැටවුන්ව වත් උසි ගන්වන්න මුතුබණ්ඩා මාම අමතක කළේ නෑ .! 

“ඉබ්බා කියන්නේ මෙලෝ වැඩකට ඇති සතෙක් නෙවෙයි ඌව කෑවට පාඩු නෑ . බලහල්ලා කොල්ලනේ අපි මෙච්චර වයසට ගිහිල්ලත් තවම කොන්ද කෙළින් තියාන ඇවිදින්නේ ඔය ඉබි මසේ ගුණ නිසා තමයි” 

වැවුගම් පත්තුවේ එමට තිබුණු වැවු, දිය කඳුරු, ඇල පාරවල් වල නොසෑහෙන්න ඉබ්බො හිටියා.ඉතින් කවුරු මොන දේ කීවත් මුතුබණ්ඩා මාමට හැමදාමත් ඇති පදම් ඉබි මස් ලැබුණා .කොයිතරම් ඉබ්බෝ ලැබුණත් මුතුබණ්ඩා මාමා සෑහීමකට පත් වුණේ නම් නෑ . උන්දැගෙ ගෙදර පිටුපස සිමෙන්තියෙන් බඳවලා තිබුණු පුංචි ටැංකියේ කොයි වෙලේ බැලුවත් බියෙන් හැකිළුණු, සාගින්දරෙන් දැවුණු ඉබ්බෝ හය හතක් උන්ගේ වෙලාව එනතුරු බලන් හිටියා . 

කැඩුණු ටීපෝ එකට කකුලක් හයිකරගන්න මුතුබණ්ඩා මාමගේ වඩු මඩුවට ගිය දාක මට උන්දෑගේ ඉබි වදකාගාරය සියැසින්ම දැකගන්නත් ලැබුණා . සමහරු කටුව ඇතුළේ හංඟිලා ඉද්දී සමහරු සිමෙන්ති ටැංකියේ බිත්ති දිගේ උඩට නැඟිලා නිදහස හොයාගෙන යන්න නිමක් නැති උත්සාහයක් ගන්නවා .මරණයට කැප වුණ ඒ අහිංසක ඉබ්බෝ කීප දෙනා දැක්කාම මගේ හිතේ උපන්නේ මහ අමුතුම දුකක්. ඉතින් මුතුබණ්ඩා මාමට මගේ කටිනුත් පුංචි උපදෙසක් දීලා මේ ඉබ්බෝ නිදහස් කරගන්න මට එදා හිතුණා . 

“මාම මේ . . මේ”
මොකක් පුතේ කීවේ !

“අර ඉබ්බො පවු . . . නේ ද මා . . මේ උන් .. . “

“කටයි පුකයි වහගෙන මෙන්න මේක ඇන්න පල !”

මුතුබණ්ඩා මාමා ටීපෝ එක මගෙ දිහාවට විහික් කළේ මහ රකුසු මූණක් මවාගෙනයි . ඒ මූණේ ඇඳිලා තිබුණු පෙනුමට මම ටිකක් බය වුණා ඒ හන්දා මමත් හනි හනිකට එතනින් පිට වෙලා ආවේ ගල් ඉබ්බෙකුගේ කට්ට වගේ අතපය හයිය මිනිහෙක් එක්ක මම කොහොමද හැප්පෙන්නේ කියලා මග දිගටම හිතමිනුයි. 

මුතුබණ්ඩා මාම වෙනදා වගේම ඉබි මස් කමින් ලී බඩු හදමින් තමන්ගේ පාඩුවේ උන්නා . ගමේ අනික් එවුනුත් මුතුබණ්ඩා මාමට බණ දෙසන එක පැත්තක තියලා තමන්ගේ වැඩක් පලක් කරගෙන ඔහේ ජීවත් වුණා . ඉතින් මුතුබණ්ඩා මාමත් කාගෙන්වත් බලපෑමක් නැතුව උන්දැගෙ ගෙදරට වෙලා ඉබ්බො ගිලිමින් සතුටෙන් උන්නා . 

දවසක්දා මුතුබණ්ඩා මාමාගේ අසල් වැසියා වෙච්ච මුදියන්සේ මාමා දවසක් හති දාගෙන දුවගෙන ඇවිත් ශාන්තගේ බාබර් සාප්පුව ළඟ රට කොට්ටම්බා ගහ ඉස්සරහා ගාල් කරලා තිබුණ ආටා එක ගාව නතර වුණා. ඒ මොහොතේ මම හිටියේ ශාන්තගේ බාබර සාප්පුවේ තිබුණු පත්තරේ කියවමින් .

“අනේ කොල්ලෝ හනික ආටා එක ඉස්ටාට් කරගෙන යමු මුතුබණ්ඩේ සැටල් හන්දියේ බෝක්කුව අස්සේ හිර වෙලා !”

ඒ කතාව ඇහැහුණ හැටියේම බාබර් සාප්පුව ගාව කාලෙ කන්න ඇවිදින් හිටි කොල්ලො කවුරුත් තමන්ගේ බයිසිකල් වළ නැගිලා ඇඟේ පතේ තිබ්බ හයිය හත්තිය කකුල් වලට දීලා බයිසිකලේ උපරිම වේගෙන් පාගාගෙන සැටල් හන්දිය පැත්තට ගියේ විදුලි වේගෙන් ! . උන් එක්ක එක්කාසු වෙච්ච මමත් විනාඩි කීපයකින් නතර වුණේ සැටල් හන්දියේ තිබුණු බෝක්කුව ගාවයි . 

සැටල් හන්දියේ බෝක්කුව දිගේ තමා පුංචි ඇළෙන් කුඹුරු යායට වතුර ගලා බහින්නේ . නිතරම වතුර ගලා බහින නිසා ඔය බෝක්කුව කොයි වෙලේත් රොන් මඩින් පිරිලා හිර වෙන වෙලාවල් එමටයි . ඒ වගේ වෙලාවට ගොවියෝ දිග උණ ලීයක් ගෙනත් ඒ බෝක්කුව සුද්ද කරලා ආයෙමත් වතුර ගන්නවා . මිනිහෙකු තියා බල්ලෙකුටවත් රිංඟන්න බැරි ඒ බෝක්කුව අස්සේ මුතුබණ්ඩා මාමා කොහොම ඉන්නවා ඇත්ද ? ඒ ගැන හිතනකොටත් මගේ ඇඟපත හිරි වැටිලා ගියා . 

මම බෝක්කුව ගාවට කිට්ටු වෙද්දී එතන තිහක හතළිහක විතර සෙනගක් වට වෙලා පස් කපමින් බෝක්කුව කඩා දමමින් එතන යකා නටනවා . ගෑනු වගයක් එතන වට වෙලා ඇඳන් උන්නු සාය හැට්ට වළ හොටු පිහිමින් ලතෝනි දෙනවා ! මමත් හනි හනිකට එතනට කිට්ටු වුණා . 

මම එතනට කිට්ටු වෙනකොට දැක්ක දසුනෙන් මගේ බඩ පපුව හීතල වෙලා ගියා . ගමේ උන් කුළුගෙඩි පාරවල් දීලා පැත්තක් කඩා දාපු බෝක්කුව අස්සෙන් මුතුබණ්ඩා මාමාගේ කකුල් දෙක මම දැක්කා . දම්පාටින් දිලිහෙන රොන් මඩ අතරේ මුතුබණ්ඩා මාමා තදින් හිරවෙලා . උන්දැ හෙලවුනේවත් නෑ . ගමේ එවුන් හනි හනිකට කකුල් දෙකෙන් ඇදලා මුතුබණ්ඩා මාමව ගොඩට අරං තුන්සක් රියේ පටවාගෙන මහ ඉස්පිරිතාලෙට ගෙනිච්චා . 

පැයක් යන්න මත්තෙන් මුතුබණ්ඩා මාමා මියැදිලා කියන ආරංචිය අපි කාගෙ කාගෙත් කන් වළ දෝංකාර දුන්නා . ගමේ කවුරුත් කොඩිවැල් අදින්න , හට් ගහන්න එකතු වුණා . කවුරු කවුරුත් මුතුබණ්ඩා මාමා උන්නු කාලේ කළ හොඳ වැඩ ගැන මෙනෙහි කරන්න වුණා . කටින් උන්දැගෙ ගුණ වැයුවත් හිතින් අපි කවුරුත් ඇත්ත දැනං උන්නා . මුතුබණ්ඩා මාම මැරුණේ .ඉබ්බෝ හොයමින් බෝක්කුව ඇතුළේ බඩගාමින් යන අතරතුරේදි ඉස්මොළේ මඩ ගිහිල්ලයි.

ගමේ කාටත් මුතුබණ්ඩා මාමව අහිමි වුණේ ඔන්න ඔහොමයි . ගං හතකට හිටි දක්‍ෂ වඩු බාසුන්නැහේ උන්දැගෙම කරුමෙ පඩිසං දීම හන්දා මියැදුනා . ගමේ වැදගත් මිනිසුන්ගේ අවවාද පිළිගත්තානම් අදත් මුතුබණ්ඩා මාමා මේ ගමේ වඩු බාසුන්නැගේ වෙලා ඉන්නවා . ඒත් කෑදර කමට ගිහින් මුතුබණ්ඩා මාමගේ වළ උන්දැ විසින්ම කපා ගත්තා . 

“මේ ජීවිතේදී කරන පවු මේ ආත්මේදිම පඩිසං දෙන බව ඔය පිංවත්තු කවුරු කවුරුත් මතක තියාගත්තොත් හොඳයි . ! අනුන්ගෙන් පින් ගන්ට බලාගෙන මැරෙන්නැතුං යනකොට ගෙනියන්න තමන්ගේ පින් තමන් විසින්ම කර ගන්න ඔහෙලත් හිතට ගන්නවා හොඳයි” 

මුතුබණ්ඩා මාමගේ අවසන් කටයුතු වලට ඇවිදින් උන්නු පන්සලේ ලොකු හාමුදුරුවෝ එහෙම කියලා පැන් වඩන ගතාව කියන්න පටන් ගත්තා . මල ගෙදරට ඇවිදින් උන්නු කවුරුත් පැන් වඩන්න එකතු වෙද්දී මමත් පැන් බාජනේට අත ලං කළේ මොන දේ කළත් මුතුබණ්ඩා මාමා ගමට කල එක හොඳක් හරි මුල් වෙලා උන්දැ හොඳ තැනක උපත ලබන්න කියලා හිතෙන් මතුරන අතරෙයි




උපුටා ගැනීම...:-සජිත්ගේ ලෝකය

Penulis : nishawi ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel ඉබි මසට ලොල් වූ මුතු බණ්ඩා ini dipublish oleh nishawi pada hari Saturday, July 14, 2012. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 0 komentar: di postingan ඉබි මසට ලොල් වූ මුතු බණ්ඩා
 

0 ප්‍රතිචාර:

Post a Comment

ඔයලාගේ ඕනම අදහසක් පහළින් දාලා යන්න...